පාස්කු ඉරිදා සිදු වූ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් තුන්සියයකට ආසන්න පිරිසක් මිය ගොස් පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මියගියවුන් අතර කුඩා දරුවෝ හතළිස් පහකට ආසන්න පිරිසක් වූහ. තුවාල ලද දරුවන් සංඛ්‍යාවද බොහෝය. නොසිතූ මොහොතක ඇති වූ මේ දැවැන්ත ව්‍යසනය හමුවේ සමාජයේ ලොකු කුඩා කාහටත් දැඩි මානසික කම්පනයක් ඇති වූ බව රහසක් නොවේ. මේ ව්‍යසනයට මුහුණ පෑ එමෙන්ම එය දුටු සමස්තයේ අවසාන බලපෑම ඇති වන්නේ මේ හැම දෙනාගේම මනසටය. මෙයට විසඳුමක් ලෙස සමස්ත සමාජයේ මෙන්ම දරුවන්ගේ මානසික ව්‍යාකූලතා අවම කිරීම උදෙසා කළ යුතු හා කළ හැකි දේ මොනවාදැයි, අපි මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය අතුල සුමතිපාල මහතා සමඟ කතාබහ කළෙමු. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් ඇති මහාචාර්ය සුමතිපාල අපරටේ සමාජ ව්‍යසනයන් පිළිබඳ පර්යේෂණයන්හි යෙදීමෙන් සම්මානයට පාත්‍රවී ඇති පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂවරයාය. ඔහු එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙක් ද වෙයි.

 

Cපාස්කු ඉරිදා සිදු වූ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් තුන්සියයකට ආසන්න පිරිසක් මිය ගොස් පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. මියගියවුන් අතර කුඩා දරුවෝ හතළිස් පහකට ආසන්න පිරිසක් වූහ. තුවාල ලද දරුවන් සංඛ්‍යාවද බොහෝය. නොසිතූ මොහොතක ඇති වූ මේ දැවැන්ත ව්‍යසනය හමුවේ සමාජයේ ලොකු කුඩා කාහටත් දැඩි මානසික කම්පනයක් ඇති වූ බව රහසක් නොවේ. මේ ව්‍යසනයට මුහුණ පෑ එමෙන්ම එය දුටු සමස්තයේ අවසාන බලපෑම ඇති වන්නේ මේ හැම දෙනාගේම මනසටය. මෙයට විසඳුමක් ලෙස සමස්ත සමාජයේ මෙන්ම දරුවන්ගේ මානසික ව්‍යාකූලතා අවම කිරීම උදෙසා කළ යුතු හා කළ හැකි දේ මොනවාදැයි, අපි මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය අතුල සුමතිපාල මහතා සමඟ කතාබහ කළෙමු. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් ඇති මහාචාර්ය සුමතිපාල අපරටේ සමාජ ව්‍යසනයන් පිළිබඳ පර්යේෂණයන්හි යෙදීමෙන් සම්මානයට පාත්‍රවී ඇති පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂවරයාය. ඔහු එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙක් ද වෙයි.

මෙම අවාසනාවන්ත සිදු වීම වාර්තා වූ අන්දම ගැන පළමුව කතා කරමු.

සුනාමිය අවස්ථාවේ දී මාධ්‍යයේ හැසිරීම සමඟ සසඳා බලත් දී ඇත්තටම මේ ඛේදවාචකය වාර්තා කරත්දී මාධ්‍ය හැසිරුණු ආකාරය ඉතාම සාධනීයයි. සුනාමිය අවස්ථාවේ දී ගාල්ලේ දරුවන් ගහගෙන ගිය රූපරාමු පෙළ නැවත නැවත පෙන්වූවා. එවැනි තත්වයක් මෙවර අපි දැක්කේ නැහැ.‍

මේ සිදුවීමට වැඩිහිටියන් වගේම දරුවන් සැලකිය යුතු පිරිසක් මුහුණ දුන්නා,

හුඟක් ආපදාවන්වලදී දරුවන් ඒවාට ගොදුරු වෙනවා. මෙතැනදීත් එහෙමයි. ඒත් සමඟම මේ දරුවන් පිළිබඳ සමාජයට අමතකව යනවා. අවුරුද්දත් පහත් අතර දරුවන්ට මරණය පිළිබඳ ලොකු හැඟීමක් නැහැ. නමුත් අවුරුදු පහත් දොළහත් අතර දරුවන්ට මේ ගැන දැනෙනවා වැඩියි. අද දරුවන් අඩුවෙන් හිතන්නෙත් නැහැ. වැඩියෙන් හිතන්නෙත් නැහැ. මේ දේවල් ගැන ඒ අයගේ හිතේ යම් පීඩනයක් ඇති වෙනවා. අවුරුදු දොළහේ සිට ඊට වැඩි වයස්වල අය මේ ගැන සකච්ජා කරනවා වැඩියි. මෙතැනදී අපි දරුවන් ගැන ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුතුයි.

දරුවන්ට චිත්‍ර අඳින්න ඉඩ දෙන්න

මෙයට සෘජුවම මුහණ දුන් දරුවන් සාමාන්‍ය තත්වයට එන්න කාලයක් ගත වෙනවා. යම් යම් වයස් හා සමාජ මට්ටම්වල දරුවන් මෙයට මුහුණ දුන්නා. ඒ අයගේ සිත්තුළ බයක් තිබෙනවා. එතකොට ඒ අයට මෙය හරිම වෙදනාකාරී අත්දැකිමක්.මෙතනදි දෙන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි දරුවන්ට එම සිදුවිම පිළිබඳ චිත්‍ර ඇදීමට හා විවිධ නිර්මාණ කිරීමට ඉඩ ලබා දිම. ටික දවසක් යන කොට ඔවුන් දුක තුනී කර ගන්නවා. මේ වෙලාවේ රෝහලේ ඉන්න කුඩා ළමයින්ට පවා කරන්න තියෙන්නේ සෙල්ලම් බඩුවක් දෙන එක නැතිනම් චිත්‍රයක් අඳින්න දෙන එක. මොකද දරුවන්ට අපේ වචන දාහකට වැඩිය වැදගත් සෙල්ලම් බඩුවක් දී මනස සුවපත් කරන එක. තුවාල වී ඉන්න දරුවන්ට බොහොම කරුණාවෙන් ආදරයෙන් කතා කිරීම ඉතාම වැදගත්. සමහර ළමයි ගෙදර යන කොට මව් පියන් සහෝදර සහෝදරියන් නැතිවෙලා ඉන්න පුළුවන්. එතකොට එතැන තියෙන අභියෝගය තමයි සමහර දරුවන්ට වචනයෙන් අහන්න බැහැ. දොළහට වැඩිනම් කතා කරයි. සමහර ළමයින්ට රෑට මූත්‍රා යනවා. එයත් ස්වභාවිකයි. බයයි කියන්නේ නැතිව සමහර ළමයි බඩ රිදෙනවා ඔළුව රිදෙනවා කියලා පාසල් නොයා ඉන්න බලනවා. මෙහිදී මවුපියන් පරිස්සමින් කටයුතු කළ යුතුයි. දරුවන් රෝහලට ගෙනිහින් පරීක්ෂණ කරන්නේ නැතුව දරුවන්ගේ මනස ගැන, ඒ තත්ත්වය වැඩිහිටියන් තේරුම් ගැනීම අවශ්‍යයි.

මෙයට මුහුණ දුන් දරුවන්ට හා මෙය මාධ්‍ය මඟින් දුටු දරුවන්ට පාසල් පද්ධතියෙන් දිය හැකි දායකත්වය කුමක්ද?

ඉතා ආරක්ෂිතව දරුවන් පාසල් අරින එක ඇත්තටම කෙරෙන්න ඕන වැඩක්. ළමයි පාසලට ගියහම ඒ අය සාමුහිකව ඉන්නවා. ගෙදර ඉන්කොට ටීවී එකේ පෙන්වන දේවල් සහ දෙම්ව්පියන් සාකච්ජාකරන දේවල් අහගෙන ඉන්නවා. ළමයි මේ දේවල් අහුලා ගන්නවා. එයින් බලපෑමක් ඔවුන්ගේ මනසට එල්ල වෙනවා.

ස්වාභාවික චර්යාවේ වෙනස්කම්

එවිට ඒ අයගේ ස්වභාවික චර්යාවේ වෙනස්කම් ඇති වෙනවා. පාසල් ගියාම අනෙක් ළමයි ඒ ගැන කතා කරයි. අහයි. කමක් නැහැ. ගුරුවරු ඒ අයට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. බොහොම ආදරයෙන් ළෙන්ගතුකමින් ආදර‍ය සමාජයෙන් ලබා දිය යුතුයි. ඒ දරුවාට තමා ආරක්ෂිතයි කියන හැඟීම ඇති කරන්න ඕන. මගේ අම්ම තාත්ත නැහැ. අහිමිවීම් මට සිදු වුණා. ඒත් මා රැක බලා ගන්න අය ඉන්නවා කියන හැඟීම දෙන්න ඕන. ඒ වගේම මේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න ඕන. මේ අය තමන්ගේ එදිනෙදා දේවල් වලින් ඈත් වෙනවාද? අනෙක් ළමයි වගේ ඉන්නවාද? කියල බලන්න ඕන. දරුවන්ට අපි හිතනවාට වඩා ඔරොත්තු දීමේ හැකියාව වැඩියි.

අද දරුවන් අතරට බෝම්බ කියන වචනය ඇවිත් තිබෙනවා. දරුවන් බෝම්බ සෙල්ලම් කරන්න පටන්ගෙන තිබෙනවා.

මෙය නරක තත්වයක්. මේ දරුවන් සෙල්ලම් කරත්දී බෝම්බ ගැන කියනව නම් මේ දරුවන්ට තරවටු නොකර බෝම්බ කියන්නේ හොඳ දෙයක් නොවන බවත් එය නරක දෙයක් බවත් එය සෙල්ලමකට ගන්න හොඳ දෙයක් නොවන බවත් තේරුම් කර දී බොහොම කල්පනාවෙන් දරුවන් එකමුතුව සාමුහිකව කරන්න පුළුවන් සෙල්ලමකට යොමු කිරීමට මවුපියන් කටයුතු කළ යුතුයි. තුවක්කු, පිස්තෝල, පිහි දරුවන්ට සෙල්මටවත් ලබා නොදිය යුතුයි.

දුක තුනී කරන සුවිශේෂ ක්‍රම

මේ සිදුවීමට මුහුණ දී ජීවත් වන වැඩිහිටියන් හා දරුවන් තවමත් පසුවන්නේ වියෝ දුකින්, දැඩි වේදනාවකින්. එය තුනී කරගන්නට කටයුතු කළ යුත්තේ කෙසේද?

බොහෝ දෙනෙක් මෙයට උපදේශනය අවශ්‍යයි කිව්වත් ලංකාවේ අපේ සමාජයේ යම් විපතකදී හරි ස්වභාවික මරණයක දී හරි ඇතිවන ඒ වියෝ දුක තුනී කර ගන්න භාවිතා කරන සුවිශේෂී ක්‍රමවේදයන් තිබෙනවා. බෞද්ධ සංස්කෘතිය ගත්තම එහි මතක බණ, දානමාන දී ඒ දුක තුනී කරගන්නවා. පල්ලිවලත් එහෙමයි. හැම ආගමකම සංස්කෘතික වශයෙන් අහිමිවූවන් විඳදරාගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. අපේ සංස්කෘතිය ඇතුළේ මේ ක්‍රමවේදය ප්‍රබල වෙනවා. ඒ වගේම පාසල් පද්ධතිවල දරුවන්ට පාසල පටන් ගත්තාට පසු ගුරුවරුන්ට කරන්නට පුළුවන් පහුගිය කාලේ තමන්ගේ මතකයේ රැඳුණු දෙයක් අඳින්න හෝ නිර්මාණයක් කරන්න කියන එක. ළමයි අඳියි. විවිධ දේ නිර්මාණය කරයි. එවිට අපිට මුළු ලංකාවේම ඉන්න බහුතරයක් පාසල් දරුවන් අඳින්නේ මේ සිදුවීම නම් ඒ අයගේ මනස තුළ මෙහි බලපෑමක් තියෙනවා කියන එක හඳුනා ගන්න පුළුවන්. නමුත් කාලයක් යන විට එහි බලපෑම අඩුවෙනවා.

මෙහි බලපෑම මනසටයි එල්ල වෙන්නේ.

බය, දුක හා තරහ එතැනදී ඇතිවෙනවා. ඕනෑම කෙනෙකුට නින්ද නොයෑම සුලබයි. බය, අනෙකා ගැන ඇති සැකය, අනාරක්ෂිතභාවය, කලබලවීම, තරහ යෑම්, පශ්චාත්තාපය ( සමහර දරුවන් යන්න බහැ කියත්දිත් බලෙන් මවුපියන් පල්ලි යවලා දරුවන් මියගියවිට තමන් වැරැදිකාරයන් කියා හිතෙන එක) මේ සේරම සාමාන්‍යයෙන් ඕනෑම කෙනකු ගේ මනසේ ඇති වන ප්‍රතික්‍රියා. ඒවා මානසික රෝග නොවෙයි. මෙය කාලයා විසින් තමයි නැති කරන්නේ.

මේ මානසික පීඩනය රෝගයක් විය හැකිද?

නැහැ. මෙම ව්‍යවසනයට මුහුණ දී මැරුණු අය ඉන්නවා. මරණිය තුවාල සිදු වී ඉතිරි වූ අය ඉන්නවා. මේ හැම දෙනාම යම් ව්‍යාකූලතාවයකට පත්වෙලා තිබෙනවා. තව කොටසක් ඉන්නවා සමාජයේ සෘජු ලෙස මෙයට මුහුණ දුන්නේ නැහැ. ගුවන් විදුලි රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දැක්කා. ඇහුවා. ඒ හරහා ව්‍යාකූලත්වයට පත්ව තිබෙනවා. නමුත් මේ එකක්වත් රෝග නෙමෙයි. මේක ස්වභාවික තත්ත්වයක්. එයට කාලය විසින් තමයි විසඳුම් ලබා දෙන්නේ.

මේ සිදුවීම තවත් අයට ප්‍රකෝපකාරී හැගීම් දනවන්නක් වුණා නේද?

මේ අර්බුදයේ බරපතළම තත්ත්වය තමයි ආගම්වාදය හා ජාතිවාදය ඇවිස්සීමට තිබෙන ඉඩකඩ. එය නවත්තන එක තමයි හැමදෙනාගේම වගකීම. මේ ත්‍රස්තවාදී ප්‍රහාරයට අපේ මනසේ ඇතිවන ස්වභාවික ප්‍රතික්‍රියාවේ නරකම පැත්ත තමයි වෛරය , ද්වේෂය, ක්‍රෝධය ඇති වීම. ඒක ස්වභාවික දෙයක් වුණත් එය නරක අතට පාවිච්චිවන එක වළක්වා ගැනීම ප්‍රධානම අභියෝගය වෙනවා. සෑම නායකයකුගේම හා පුරවැසියෙකුගේම වගකීමක් එය. මේ ද්වේෂ සහගත සිතුවිලි එනවා නම් එය තේරුම් ගෙන ඒවා සමාජයට විනාශකාරි අත්දැකීම් නොවන ලෙස කටයුතු කළ යුතුයි.

එතැනදී පාසල් පද්ධතියට ගුරුවරයාට විශාල වගකීමක් තිබෙනවා. මොකද තරුණ දරුවන් ආවේගශීලියි. යුද්ධය නිමා වෙන කොට අවුරුදු 10 දරුවට අද අවුරුදු 20ක්. එයාට මතක නැහැ. මේවා යුද්ධයෙන් පසුව ඉපදුණු ළමයටත් එහෙමමයි. ඒ අයට අපිට වගේ පරණ අත්දැකිම් නැහැ. ඒ අයට මේ අලුත් අත්දැකීමත් එක්ක ද්වේෂ සහගත හැඟීම් එන්න පුළුවන්. තරහ යන්න පුළුවන්. එතනදී රජයක් වශයෙනුත් සමාජයක් වශයෙනුත් ප්‍රධාන වගකීම තමයි අනර්තකාරී ක්‍රියාවන්ට නැඹුරුවීම‍ට ඉඩ ඇති තරුණ පරපුර එයින් මුදා ගැනීමට සුවිශේෂී වැඩපිළිවෙළක් සැකසීම. නැතිනම් අන්තවාදීන් විසින් ජාතිවාදීන් විසින් මෙය පාවිච්චි කරන්න පුළුවන්. එය පරාජය කිරීමයි වැදගත්. මෙතනදී ජාතික ආරක්ෂාව ඉහළ තලයකට ගෙන ඒම තමයි ප්‍රධාන කොන්දේසිය වන්නේ. මේ ව්‍යයසනය තුළ සුළු ප්‍රතිශතයකට දීර්ඝකාලිනව මානසික රෝගී තත්වයන් ඇති වෙන්න පුළුවන්. අපදා නිසි ලෙස කළමණාකරණය කිරිමයි මෙතනදී වැදගත් වෙන්නේ.

සැකය අනර්ථකාරී නොවිය යුතුයි

අද හුඟදෙනෙක් අතර සැකය පැතිරිලා තිබෙනවා. සැකයෙන් බැලීම ස්වභාවිකයි. විශේෂයෙන්ම තරුණ දරුවන්. මෙතනදී වැඩිහිටියන්ගේ වගකීම තමයි ඒ තත්වය හඳුනාගෙන ඒ ගැන විවෘතව කතාබහ කිරීම. සැකය අපේ භාවිතාවේදී අනර්ථකාරී විදිහට පාවිච්චි නොකළ යුතුයි. ඒ අයට හිතාමතා වෙනස්කම් නොකළයුතුයි. කොන් නොකළ යුතුයි. පාසලකදීනම් ගුරුවරු මේ කණ්ඩායම් දෙකටම තේරුම් කර දෙන්න ඕන මෙහෙම දෙයක් සිද්ධ වුණත් ඔය දරුවන් මේවාට සම්බන්ධ නැහැ. ඒත් තව කෙනෙක් ඔබ දිහා සැකෙන් බලන්න පුළුවන්. ඒ කට කළඹ වෙන්න එපා කියලා. සැකය දුරුවන ලෙස කටයුතු කරන්න කියලා. ඒ වගේමසාමාන්‍ය මිනිසුන් ඉතාම ඉක්මණින් එදිනෙදා ජීවිතයට අනුගතවීම මේ ත්‍රස්තවාදීන්ට කරන්න පුළුවන් ලොකුම අභියෝගය. මොකද ඒ අයගේ අභිප්‍රාය මේ තත්ත්වය නැති කිරිම වන නිසයි. අපි සමාජයක් ලෙස බයෙන් සැකෙන් නෙමෙයි කල්පනාවෙන් ජීවත්වීමයි ඉතාම වැදගත්.

අද අලුත් තාක්ෂණයත් එක්ක සමහර දරුවන් තුන්වැනි තට්ටුවේ ඉඳන් අම්මට එස්එම් එස් කරනවා තේ එක එවන්න කියලා. ඒ විදිහට අපේ ස්වභාවික ගනුදෙනු, කතාබහ, එකට වාඩිවෙලා කන බොන එක සීග්‍රයෙන් නැතිවෙලා ගිහින්. එනිසා තමයි අද දරුවන් කරනදේ මවුපියන් දන්නේ නැති තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. මේ ත්ත්වයෙන් අපි මිදිය යුතුයි.

How to get back from a disaster stricken mind